කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවි දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානයක පමණක් පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දා මේ අපුරු සාක්ෂිය සටහන් වී තිබුණා. ඒ, පසු පස හඹා ගිය වනජීවි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් කර ගනිමින්. ඒ අනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් දෙදෙනෙකු හා තවත් පිරිමි සත්ත්වෙයකු ද සිටින බවට අනාවරණයවී තිබෙනවා.
මෙය වනජීවි දෙපාර්තමේන්වේ වෛද්‍ය මාලක අබේවර්ධන, වෛද්‍ය මනෝජ් අකලංක යන නිලධාරීන්ගේ මුලිකත්වයෙන් සිදු කළ මෙම ගවේෂණයකි. කහ පැහැති කොටියාගේ කළු පැහැති පුල්ලි ඇතැයි යන්න සාමාන්‍ය පිළිගැනීමයි. ඒ කොටියා සම්බන්ධයෙන් අප සිතේ මැවෙන රුවයි. නමුත් කළු කොටි මෙරට සිටින බවට ද විටින්විට වාර්තා විණි. එවැනි කළු කොටි තුන් දෙනකු මියගොස් සිටිය දී සොයාගත හැකි වුව ද කිසි දිනක කිසිවෙකු හෝ ජීවතුන් අතර සිටින කළු කොටියකු දැක තිබුණේ නැත.
ඒ නිසාම බොහෝ දෙනාගේ මතය වූයේ මෙරට පරිසරයේ දැන් කළු කොටි නැති බවයි. අවසන් වතාවට එවැනි කළු කොටියකු දක්නට ලැබුණේ 2009 වර්ෂයේ පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේ දී උගුලකට අසුවී මියගොස් සිටිය දී ය. මේ කොටියාගේ සිරුරේ සම වෙන්කර කළු කොටි අනුරුවක් සාදා එය ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී. ඒ මෙරට සිටි අවසන් කළු කොටියා බවට පිළිගැනිණි. නමුත් පසුගිය දිනක වනජීවී දෙපාර්තමේන්තුවේ පර් යේෂකයන් පිරිසකට අපූරු තොරතුරක් ලැබිණි. ඒ කොටි ගැවසෙන ස්ථානයන්හි සවිකරන ලද දුරස්ථ චලන කැමරාවක කළු පැහැති කොටියකුගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන සටහන්ව තිබීමයි.
වනජීවී දෙපාර්තමේන්තුවේ උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සහ මධ්‍යම කලාපයේ පශු වෛද්‍ය මනෝජ් අකලංක මහත්වරු ඇතුළු කණ්ඩායමක් විසින් උඩවලව සහ සබරගමුව ආශ්‍රිතව දිවි ගෙවන කොටි සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකට සවිකරන ලද කැමරාවක මෙම කළු කොටියාගේ දර්ශන සටහන් වී තිබිණ. වෛද්‍ය අබේවර්ධන මහතා පවසන්නේ 2019 ඔක්තෝබර් මස 26 වැනිදා කැමරාවේ එම දර්ශන සටහන්ව තිබූ බවයි. මෙවැනි කළු කොටියකු මෙරට දී කැමරාවක සටහන් වූ ප්‍රථම අවස්ථාව එය බව ද වනජීවී නිලධාරීහු කියති.
ලෝකයේ වාර්තාවන කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියා මෙරටට ආවේණික උප විශේෂයකි. සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වන මෙම කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණය ගෙන දෙන වර්ණ දේහයක් ස්වභාවිකවම සිරුරේ නොමැතිවීම හේතුවෙන් කළු පැහැති කොටි උපත ලබයි. ඒ අනුව කළු කොටියා යනු වෙනත් කොටි විශේෂයක් නොව මෙරටින් වාර්තාවන පැන්තරා පාඩුස් කොටියා යන උප විශේෂයේම වර්ණ ප්‍රභේදයකි. ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව මෙලෙස වර්ණ ප්‍රභේදය ඇතිවී තිබෙන බව පර් යේෂකයන්ගේ මතයයි. ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවයට හා උෂ්ණත්වයට අනුව මෙම වර්ණ ප්‍රබේදය ඇතිවන බව විද්‍යාත්මක පිළිගැනීමයි.
ලංකාවේ දක්නට ලැබෙන කොටියාට දිවියා යනුවෙන් ඇතැම් පිරිස් වහරති. එය දෝෂ සහිතය. ශ්‍රී ලංකාවේ කොටියාගේ විද්‍යාත්මක නාමයම පැන්තරා පාඩුස් කොටියා වන අතර ඉංග්‍රීසි බසින් ඔවුන් ලෙපර්ඩ් යනුවෙන් හඳුන්වන බැවින් ඔවුන්ට දිවියා යන නම භාවිත කරයි. නමුත් දිවියා යනුවෙන් හඳුන්වන ‘කොළ දිවියා’ Prionailurus viverrinus සහ ‘හඳුන් දිවියා’ Prionailurus rubiginosus යන සත්ත්ව විශේෂ දෙක ද මෙරටින් වාර්තා වෙයි.
පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පවසන්නේ ට්‍රො පිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුතු සඳහා ලබාදුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සොයා ගැනීම සිදුකළ බවයි. දැනට ශ්‍රී ලංකාවේ ස්ථාන හයක පමණ කළු කොටි සිටිය හැකියැයි වාර්තා වී ඇතත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලෙස හමුවී ඇත්තේ මෙම කොටි ධේනුව පමණි. මෙරට සිටින කොටියා ආවේණික හා ඉතා සීමිත ගහණයක් දක්නට ලැබෙන බැවින් ඔවුන් අතර තවමත් කළු කොටි සිටින බව තහවුරුවීම සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයට වැදගත් සොයා ගැනීමකි. මෙයින් තහවුරු වන්නේ කළු කොටි බිහිවන ජානය හෝ තවමත් ශ්‍රී ලංකාවේ කොටි අතර සංසරණය වන බවයි. ඉදිරියේ දී මෙවැනිම කළු කොටි තවදුරටත් ශ්‍රී ලංකාවේ වනාන්තරවල දැකිය හැකිය යන බලාපොරොත්තුවක් ඒ අනුව සත්ත්ව විද්‍යාඥයන් තුළ ඇත.
පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම කොටියා හමුවූ ස්ථානය අවට මෙම ගැහැනු සත්ත්වයාට අමතරව පිරිමි සතකු සහ පැටවුන් දෙදෙනකු ද ගැවසෙන බවට වාර්තා වන බවයි. මෙම සොයාගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර මහතා මෙසේ පැවසීය.
වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ මෙලෙස කැමරාවේ වාර්තා වූ කොටියා ඇතුළු වනාන්තරවල සිටින කළු කොටි ආරක්ෂා කිරීමේ නිශ්චිත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

No comments:
Post a Comment